Anthropic සමාගම විසින් අලුතින් හඳුන්වා දුන් “Mythos” නමැති කෘතිම බුද්ධි (AI) මාදිලිය හරහා මතුවිය හැකි සයිබර් ආරක්ෂණ අවදානම් පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය එම සමාගම සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්ගේ ප්‍රකාශකයෙකු අද (23) අනාවරණය කළේය. ආරක්ෂක සයිබර් කටයුතු සඳහා නිර්මාණය කර ඇති මෙම Mythos මාදිලිය, ලොව ප්‍රධාන පෙළේ මෙහෙයුම් පද්ධති සහ වෙබ් බ්‍රවුසරයන්හි “දහස් ගණනක” බරපතල දුර්වලතා හඳුනාගෙන ඇති බව වාර්තා වීමත් සමඟ ලොව පුරා බොහෝ රටවල් මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ.
මෙම AI මාදිලියේ පවතින සුවිශේෂී හැකියාවන් සාම්ප්‍රදායික මෘදුකාංග ආරක්ෂණ පද්ධතිවලට තර්ජනයක් විය හැකි බවට විද්වතුන් බිය පළ කරති. මේ හේතුවෙන්, එම තාක්ෂණය අනිසි ලෙස භාවිතා වීම වැළැක්වීමට සහ ජාතික සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි පියවර පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය Anthropic ඇතුළු මෘදුකාංග සේවා සපයන්නන් සමඟ මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.















