2003 වසරේ සිදු වූ අමෙරිකානු ආක්‍රමණයෙන් ආරම්භ වූ අමෙරිකානු හමුදා රැඳී සිටීම අවසන් කරමින්, ඉරාකයේ සිටි අවසන් අමෙරිකානු හමුදා සාමාජිකයන්ගේ ඉවත් වීම අද (30) සම්පූර්ණ කර තිබෙනවා.
මෙම ඉවත් වීමත් සමඟ ඉරාකයේ අමෙරිකානු හමුදා මෙහෙයුම්වල වසර 23ක පරිච්ඡේදයක් අවසන් වන අතර, ඉරාකයේ ආරක්ෂාව සම්බන්ධ වගකීම එරට ආරක්ෂක අංශ වෙත සම්පූර්ණයෙන් පැවරීමට නියමිතයි. වොෂින්ටනය සහ බැග්ඩෑඩය අතර 2024දී ඇතිකරගත් එකඟතාවකට අනුව මෙම ඉවත් වීම සිදුකර තිබෙනවා.
2003දී ඉරාකය සතුව මහා විනාශකාරී ආයුධ පවතින බවට චෝදනා කරමින් අමෙරිකාව ප්‍රමුඛ හමුදා එරට ආක්‍රමණය කළ අතර, එම චෝදනා සම්බන්ධයෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී එවැනි ආයුධ සොයා ගැනීමට නොහැකි වුණා. එම ආක්‍රමණයෙන් පසුව එවකට ඉරාක ජනාධිපති සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණා.
අමෙරිකානු හමුදා 2011දී ඉරාකයෙන් ඉවත් වූ නමුත්, 2014දී අයිඑස් සංවිධානයේ ව්‍යාප්තියත් සමඟ ඉරාක රජයේ ආරාධනය මත යළි එරටට පැමිණ තිබුණා. පසුව අයිඑස් සංවිධානයට එරෙහි මෙහෙයුම් සඳහා අමෙරිකානු ප්‍රමුඛ සන්ධානය ඉරාක ආරක්ෂක අංශ සමඟ කටයුතු කර තිබෙනවා.
මේ අතර, අමෙරිකානු හමුදා ඉවත් වීමෙන් පසු ඉරාකයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉරාක හා කුර්දි ආරක්ෂක නිලධාරීන් අතර අවධානයක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
















