කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) පැතිර යන දුර්ලභ එබෝලා වෛරස් ප්‍රභේදයක් ආසාදනය වීම හේතුවෙන් ජර්මනියේ බර්ලින් නුවර රෝහලක ඇතුළත් කර සිටින ඇමෙරිකානු ජාතික සෞඛ්‍ය ක්‍රියාකාරකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි. එමෙන්ම ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව අදාළ රෝහල් බලධාරීන් ප්‍රකාශ කර සිටියි.කොංගෝ රාජ්‍යයේ වෛද්‍ය මෙහෙයුම් කටයුතුවල නිරතව සිටියදී මෙලෙස එබෝලා වෛරසය ආසාදනය වී ඇත්තේ ‘සර්ජ් ක්‍රිස්ටියන්’ (Serge Christian) මිෂනාරි සංවිධානයේ වෛද්‍යවරයකු වන ඩොක්ටර් පීටර් ස්ටැෆර්ඩ් (Dr. Peter Stafford) නමැත්තාටය. ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ කොංගෝවේ ජීවත්වෙමින් රෝගීන්ට ප්‍රතිකාර කර ඇති අතර, එහිදී පැතිර ගිය එබෝලා වෛරස් ප්‍රභේදය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 130කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇමෙරිකානු ධවල මන්දිරය ප්‍රකාශ කළේ, වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයා සහ ඔහුගේ පවුලේ පිරිස ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට රැගෙන යනවා වෙනුවට ජර්මනියට රැගෙන ආවේ කොංගෝ රාජ්‍යයේ සිට ඇමෙරිකාවට වඩා ජර්මනියට පැමිණීමට ගතවන කාලය පැය 12කින් පමණ අඩු බැවින් රෝගියාගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි.
දැනට බර්ලින්හි පිහිටි ‘චරිතේ’ (Charite) විශ්වවිද්‍යාල රෝහලේ අධි-ආරක්ෂිත විශේෂිත හුදෙකලා ඒකකයක (Specialized isolation unit) වෛද්‍ය පීටර්ට ප්‍රතිකාර ලබාදෙමින් පවතී. රෝගී තත්ත්වය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බැවින් ඔහු දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙයි. ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා වෛරස් රෝග ලක්ෂණ නොපෙන්වන අතර, සිදුකරන ලද මූලික PCR පරීක්ෂණවලින් ද ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. කෙසේ වුවද, ඔවුන්ව ද එම රෝහල් ඒකකයේම වෙනත් කොටසක නිරෝධායනයට ලක් කර තිබේ. දරුවන්ගේ මානසික තත්ත්වය වෙනුවෙන් රෝහල් කාමර ළමා හිතකාමී ලෙස සකස් කර ඇති අතර, වීදුරු ආවරණයක් සහ අන්තර් සන්නිවේදන පද්ධතියක් (Intercom) හරහා දරුවන්ට සිය පියා දකිමින් කතා කිරීමට ද අවස්ථාව සලසා දී ඇත.














