රාජ්‍ය නොවන සංවිධානයක (NGO) උසස් නියෝජිතයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ තරුණ තරුණියන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි තරුණයෙකි. නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ හතළිහකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ලැබුණු නිල පැමිණිලි හතකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට මීට පෙර අවස්ථාවලදී විමර්ශන නිලධාරීන් උත්සාහ කළ ද ඔහු දිගින් දිගටම පදිංචි ස්ථාන මාරු කරමින් මඟහැර සිටි අතර, පසුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී කුච්චවේලි ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඉකුත් දහනව වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
විමර්ශන නිලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විටත් මෙම සැකකරුට එරෙහිව මීගමුව, මඩකලපුව සහ අවිස්සාවේල්ල යන අධිකරණවල මීට සමාන මූල්‍ය වංචා නඩු රැසක් විභාග වෙමින් පවතින බවයි. ඔහුගෙන් වංචාවට ලක්වූ තවත් පිරිස් මේ වන විටත් පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බැවින්, සැකකරු මෙරට ජනතාවගෙන් වංචා කර ඇති මුදල රුපියල් කෝටියකට අධික විය හැකි බවට බලධාරීන් සැක පළකරයි. අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය විසි වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන මැයි මස විසි හය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සාර්ථක අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.














