වොෂින්ටන් නුවර ප්‍රධාන අපජල නළ පද්ධතියක් බිඳ වැටීම හේතුවෙන් පොටෝමැක් නදියට (Potomac River) විශාල වශයෙන් අපජලය එක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය කොලොම්බියා දිස්ත්‍රික් ජල හා මලාපවහන අධිකාරියට (D.C. Water) එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ. පසුගිය ජනවාරි මාසයේදී පොටෝමැක් ප්‍රධාන අපජල නළ පද්ධතියේ කොටසක් පුපුරා යාම හේතුවෙන් පිරිපහදු නොකළ අපජලය ගැලුම් මිලියන 200කට අධික ප්‍රමාණයක් නදියට මුදා හැරී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු පරිසර ආරක්ෂණ ඒජන්සිය (EPA) සහ අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව ගොනු කර ඇති මෙම පැමිණිල්ල මගින් D.C. Water ආයතනය එරට ‘පිරිසිදු ජලය පිළිබඳ පනත’ (Clean Water Act) උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයට මූල්‍යමය දඩුවම් පැනවීමටත්, අපජල නළ පද්ධති පරීක්ෂා කර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත්, සිදුවූ දූෂණය අවම කිරීම සඳහා පිළියම් යෙදීමටත් රජය අපේක්ෂා කරන බව අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරිලන්ඩ් ප්‍රාන්තයේ නීතිපතිවරයා විසින්ද D.C. Water ආයතනයට එරෙහිව එදිනම නඩු පවරා තිබීම විශේෂත්වයකි. මෙම දැවැන්ත අපජල කාන්දුව හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට දැඩි හානි සිදුව ඇති බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇති අතර, අදාළ නළ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට තාවකාලික පියවර ගෙන තිබේ.
















