ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඩීසල් සහ පොහොර මිල අධික ලෙස ඉහළ යාම නිසා ඇමෙරිකානු ධාන්‍ය ගොවීන් දශක හතරකට පසු දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින බව ‘Financial Times’ පුවත්පත වාර්තා කරයි. පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ටෙහෙරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳ නාවික ගමනාගමනය අවහිර කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. ලෝක බලශක්ති සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම ප්‍රධාන මුහුදු මාර්ගය අවහිර වීමත් සමඟ ඇමෙරිකාව තුළ බලශක්ති පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
ඇමෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලන දත්තවලට අනුව, යුද්ධයට පෙර ඩොලර් 3.81ක් වූ ඩීසල් ගැලුමක මිල මේ වන විට ඩොලර් 5.45 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, මීට දශකයකට පෙර ටොන් එකක් ඩොලර් 470ක් වූ පොහොර මිල මේ වන විට ඩොලර් 900 ඉක්මවා ඇති බව ගොවීහු පවසති. ඇමෙරිකානු ගොවි කාර්යාංශ සම්මේලනයේ ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, රජයේ මැදිහත්වීමක් නොමැති වුවහොත් ප්‍රධාන බෝග නවයක වගාකරුවන්ට මෙම වසරේදී පමණක් ඩොලර් බිලියන 31ක පාඩුවක් සිදුවනු ඇති බවයි. ලබන වසරේදී එම පාඩුව ඩොලර් බිලියන 32 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඉදිරි වසර දෙකක කාලය තුළ ගොවීන්ට කිසිදු ලාභයක් ලැබීමට නොහැකි වනු ඇති බවටද අනාවැකි පළ වී තිබේ. මීට අමතරව, පවතින දැඩි නියඟය, අධික උෂ්ණත්වය සහ චීනය සමඟ පවතින වෙළඳ ආරවුල් හේතුවෙන් ඇමෙරිකානු සෝයා බෝංචි සඳහා පවතින ඉල්ලුම පහත වැටීමද මෙම අර්බුදය තවත් උග්‍ර කර තිබේ.














