ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව සමනය කර ස්ථිර සාමදායක එකඟතාවයකට පැමිණීම සඳහා දැනට පවතින සටන් විරාමය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් කෙරෙහි දෙරටේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාම සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කරගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට දෙපාර්ශවයම සලකා බලමින් සිටින බව එම සාකච්ඡා පිළිබඳ සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරස්පර අදහසක් පළ කර තිබේ. ඉරානය සමඟ එවැනි සටන් විරාමයක් දීර්ඝ කිරීම පිළිබඳව තමන් මෙතෙක් කිසිදු එකඟතාවයකට පැමිණ හෝ ඒ පිළිබඳව සලකා බලා නොමැති බව ඔහු අවධාරණය කරයි. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය සාමය උදෙසා ක්‍රියාත්මක වන රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වල ඉදිරි ගමන පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් මතු වී ඇත.
පසුගිය කාලසීමාව පුරා පාකිස්ථානයේ මැදිහත් වීමෙන් සිදුවන මෙම සාකච්ඡා වටය හරහා හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබුණි. මෙම සටන් විරාම යෝජනාව පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ඉරාන පාලනය සිය නිල ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිතය.














