ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් දෙපාර්ශවයම දැඩි සහ පරස්පර විරෝධී ස්ථාවරයන් පළ කිරීම හේතුවෙන් කලාපීය සාමය යළිත් අවදානමකට ලක්ව තිබේ.
අද (අප්‍රේල් 22) පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා සහභාගී වීමට ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මෙතෙක් වොෂින්ටනයෙන් පිටත්ව ගොස් නොමැති බව ධවල මන්දිර නිලධාරියෙක් තහවුරු කර ඇත. ඔහු මේ වන විට ධවල මන්දිරයේ අතිරේක ප්‍රතිපත්තිමය රැස්වීම් කිහිපයකට එක්ව සිටින බව වාර්තා වේ.
මේ අතර සටන් විරාමය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම “සිදුවිය නොහැකි දෙයක්” බවයි. ස්ථිර ගිවිසුමකට එළඹෙන තෙක් ඉරාන වරායවල් සඳහා පනවා ඇති නාවික අවහිරය ඉවත් නොකරන බවද ඔහු අවධාරණය කළේය.
ඉරාන රජයේ නිල රූපවාහිනී සේවය (IRIB) වාර්තා කරන්නේ, මෙම සාකච්ඡාවලට සහභාගී වන්නේද යන්න පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යාංශය ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. මේ පිළිබඳව අදහස් දැක්වූ ඉරාන පාර්ලිමේන්තු කථානායක ගලිබාෆ් (Ghalibaf) ප්‍රකාශ කර ඇත්තේ යුධ පිටිය තුළ තමන් සතුව මෙතෙක් හෙළි නොකළ “නව තුරුම්පු” පවතින බවයි.
දෙපාර්ශවයම මෙලෙස දැඩි ප්‍රකාශ නිකුත් කිරීම හමුවේ අද පැවැත්වීමට නියමිත සාකච්ඡා වටය බිඳ වැටීමේ සහ කලාපය තුළ යළි යුධමය වාතාවරණයක් නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇත.













