ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුම හෙට (14) දිනයේදී අත්සන් කිරීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ප්‍රකාශ කර තිබේ.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සනාථ කර ඇත්තේ, මෙම සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ගෝලීය වෙළඳාමට අතිශය වැදගත් වන සුවිශේෂී ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) වහාම සැම දෙනා වෙනුවෙන්ම විවෘත වන බවයි. පෙර පැවති ඇමරිකානු පරිපාලනයන්ට වඩා වත්මන් රජය ඉරානය සමඟ ඉතා වෙනස් සහ සාධනීය සබඳතාවක් පවත්වන බවත්, ඉදිරියේදී ඉරානය මෙන්ම සමස්ත මැදපෙරදිග කලාපය සමඟම සමීපව වැඩ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ඉරානය විසින් වහාම ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම ගිවිසුම හෙට දිනයේදී අත්සන් කිරීමක් සිදු නොවන බවයි.
ගිවිසුමට අදාළ අනෙක් පාර්ශවයේ (ඇමරිකාවේ) පවතින ඇතැම් පැකිලීම් සහ අවිනිශ්චිතතා හේතුවෙන්, ගිවිසුම අත්සන් කරන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමේදී වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ඉරානය දැඩි ලෙස අවධාරණය කර සිටී.















