ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින සටන් විරාමය මෙම සතියේදී අවසන් වීමට නියමිතව තිබියදී, දෙරට අතර සාම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. කෙසේ වෙතත්, පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සාකච්ඡා සඳහා සහභාගී වීම පිළිබඳව ඉරානය මේ වන විට “ධනාත්මකව සලකා බලමින්” සිටින බව වාර්තා වේ.
ඇමෙරිකාව සහ ඉරානය අතර දෙවන අදියරේ සාම සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැක්වීමට පාකිස්ථානය සූදානම් වෙමින් සිටී. හෙට (අප්‍රේල් 22) බදාදා මෙම සාකච්ඡා ආරම්භ වීමට ඉඩ ඇති බව පාකිස්ථාන ආරංචි මාර්ග පවසයි. තෙල් මිල ඉහළ යාම සහ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම වැළැක්වීම සඳහා ගිවිසුමකට එළඹීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළ කර ඇති නමුත්, ඉරානයට කිසිසේත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට ඉඩ නොතබන බවට ඔහු අවධාරණය කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය භාවිතා කරමින් තමන්ට පනවා ඇති සම්බාධක ලිහිල් කර ගැනීමටත්, යුද්ධය නැවත ආරම්භ වීම වැළැක්වීමටත් ඉරානය උත්සාහ කරයි. සාකච්ඡා සඳහා සහභාගී වන බව ඉරානය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, මෑතකදී නෞකාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය වී ඇත. සාකච්ඡා සාර්ථක වුවහොත්, ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් පවා සෘජුව හෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ මීට සම්බන්ධ වනු ඇති බව වාර්තා වේ.














