ලොව ප්‍රමුඛතම අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් වන SpaceX හි සභාපතිනී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ග්වින් ෂොට්වෙල් (Gwynne Shotwell) පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 85.8ක සමස්ත වන්දි මුදලක් උපයා ඇති බව එම සමාගමේ නවතම වාර්තා හෙළි කරයි. මේ අනුව ඇය ඇමෙරිකාවේ ඉහළම වේතනයක් ලබන විධායක නිලධාරීන් අතරට එක්ව සිටියි.
SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වාර්තාවලට (S-1 filing) අනුව, ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියනයක් වන අතර ඉතිරි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් කොටස් විකල්ප (Stock options) සහ දිරි දීමනා හරහා හිමිවී තිබේ. 2002 වසරේදී SpaceX සමාගමේ 7 වැනි සේවකයා ලෙස එක් වූ ෂොට්වෙල්, වර්තමානයේ එහි එදිනෙදා මෙහෙයුම් කටයුතු මෙහෙයවන ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
ඩොලර් ට්‍රිලියන 1.75ක වටිනාකමකින් යුත් SpaceX සමාගම මේ වසරේදී මූලික කොටස් නිකුතුවක් (IPO) හරහා කොටස් වෙළෙඳපොළට පිවිසීමට සූදානම් වන පසුබිමක මෙම තොරතුරු අනාවරණය වී තිබීම විශේෂත්වයකි. එලොන් මස්ක්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම සමාගමේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධානතම ශක්තියක් ලෙස ග්වින් ෂොට්වෙල් සැලකේ.














