හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාත්මක ‘Project Freedom’ මෙහෙයුම යටතේ අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇත. අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් ඉරානයට අවධාරණය කර ඇත්තේ අමෙරිකානු හමුදා වත්කම් සහ මධ්‍යස්ථානවලින් වහාම ඈත්ව සිටින ලෙසයි.
වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු හයක් අමෙරිකානු ප්‍රහාර හමුවේ ගිල්වා දැමූ බවත්, ඉරානය විසින් එල්ල කරන ලද කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බවත් අද්මිරාල්වරයා ප්‍රකාශ කළේය. බැලැස්ටික් විරෝධී මිසයිල නාශක නෞකා යොදවා ඇති බැවින්, ගල්ෆ් මුහුදු සීමාවේ පවතින රටවල් 87කට අයත් වාණිජ නෞකාවලට බියකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
ඉරානයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයක් මැඩපැවැත්වීම සඳහා අමෙරිකාව සූදානමින් සිටින අතර, කලාපීය නාවික ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව ද CENTCOM ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.












