අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යළි මතුවෙමින් පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට ආයෝජකයින් අතර පැවැති අවිනිශ්චිතතාව හමුවේ, අද (03) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුළු පහළ යාමක් පෙන්නුම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව, Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.20ක් ලෙසත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.77ක් ලෙසත් පහළ ගොස් තිබේ.
ඉරානයට එරෙහිව යළි ආරම්භ කළ හමුදාමය ක්‍රියාමාර්ගය “දීර්ඝ කාලයක්” නොපවතිනු ඇති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඔවුන් නිර්මාණය කිරීමට උත්සාහ කළ ආරක්ෂක සහ ප්‍රහාරාත්මක නව උපකරණ සියල්ලම පාහේ අමෙරිකානු හමුදා විසින් විනාශ කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (02) ප්‍රකාශ කර ඇත. ඕනෑම අවස්ථාවක නැවත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව සඳහන් කළ ඔහු, ඉරානයේ රේඩාර් සහ මිසයිල පද්ධති ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවද පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, මෙම උණුසුම් තත්ත්වය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙෙන නෞකා ගමනාගමනයේ මන්දගාමී තත්ත්වයක් ද දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
















