ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම සඳහා අමෙරිකාව ගනු ලබන උත්සාහයන්ට බාධා කරමින්, එම තීරණයට විරුද්ධ වන ලෙස අමෙරිකානු මහජන මතයට බලපෑම් කිරීමට ඊශ්‍රායල රජයේ ඇතැම් සාමාජිකයින් කටයුතු කරන බවට අමෙරිකාව චෝදනා කරයි.
මෙම අදහස් පළ කරමින් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සඳහන් කළේ, යුද මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් ඊශ්‍රායල රජයේ ඇතැම් පිරිස් අමෙරිකාවේ ස්ථාවරය වෙනස් කිරීමට උත්සාහ කරන බව තමන් ස්ථිරවම දන්නා බවයි.
මීට අමතරව, ඊශ්‍රායලයේ අවශ්‍යතා වෙනුවෙන් අමෙරිකානු මතය හැඩගැස්වීම සඳහා ඩිජිටල් ප්රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු මැතිවරණ ප්රචාරක කළමනාකරුවෙකු ඊශ්‍රායලය විසින් බඳවාගෙන තිබූ බවටද මෑතකදී මාධ්‍ය වාර්තා පළ විය. මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
















