ඉන්දීය කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව පවරා තිබූ මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ අපරාධ නඩු ඉල්ලා අස්කර ගැනීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වේ. මීට සමගාමීව, අමෙරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිසම (SEC) විසින් පවරා තිබූ සිවිල් නඩුව, වරද පිළිගැනීමකින් තොරව ඩොලර් මිලියන 18ක දඩ මුදලක් ගෙවීමට එකඟ වෙමින් සමථයකට පත් කර ගැනීමට ද අදානි පාර්ශවය කටයුතු කර තිබේ.
අදානිගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන්නේ වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද පෞද්ගලික නීතිඥයෙකු වන රොබට් ජියුෆ්රා මහතාය. අදානි අමෙරිකානු ආර්ථිකය තුළ ඩොලර් බිලියන 10ක ආයෝජනයක් කිරීමට සහ රැකියා 15,000ක් උත්පාදනය කිරීමට මීට පෙර පොරොන්දු වී තිබුණි. මෙම නඩුව පවතින තාක් එම ආයෝජනය සිදු කළ නොහැකි බව නීතිඥ පාර්ශවය පෙන්වා දී ඇති අතර, ඉන් අනතුරුව අපරාධ නඩු ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
චෝදනා සහ ආරක්ෂක තර්ක
ඉන්දියාවේ දැවැන්තම සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ නිලධාරීන්ට ඩොලර් මිලියන 265ක අල්ලස් ලබා දීමට කුමන්ත්‍රණය කළ බවට අදානිට එරෙහිව මීට පෙර චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, අදානිගේ නීතිඥයින් තර්ක කළේ මෙම සිදුවීම් සියල්ල ඉන්දියාව තුළ සිදුවූ ඒවා බැවින් අමෙරිකානු අධිකරණයට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීත්‍යානුකූල බලයක් (Jurisdiction) නොමැති බවත්, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්ය.
අපරාධ නඩුව ඉවත් කර ගැනීමට සූදානම් වන අතරතුර, SEC ආයතනය සමඟ ඇති වූ එකඟතාවය අනුව ගෞතම් අදානි සහ ඔහුගේ බෑණනුවන් වන සාගර් අදානි ඩොලර් මිලියන 18ක දඩ මුදලක් ගෙවනු ඇත. මෙය වරද පිළිගැනීමක් ලෙස නොව, නඩු කටයුත්ත අවසන් කිරීම සඳහා වූ එකඟතාවක් ලෙස සලකනු ලැබේ.
ජෝ බයිඩන් පාලන සමයේදී ගොනු කරන ලද මෙම දැවැන්ත නඩු කටයුත්ත, ට්‍රම්ප් පාලනය යටතේ මෙලෙස ඉවත් කර ගැනීමට පියවර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
















