පිළිකා රෝගීන්ට කිමෝ තෙරපි ලබා දීමේදී අත්‍යවශ්‍ය වන ‘Filgrastim’ එන්නතේ තාවකාලික හිඟයක් මතුව ඇති බවත්, එම හිඟය පියවා ගැනීම සඳහා අදාළ එන්නත් තොග කඩිනමින් ගුවනින් ගෙන ඒමට සැපයුම්කරුවන්ට උපදෙස් දී ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට පිළිකා රෝගීන් සඳහා වසරකට මෙම එන්නත් ලක්ෂ තුනක් පමණ අවශ්‍ය වන අතර, මහරගම අපේක්ෂා රෝහලට පමණක් මාසිකව එන්නත් 9,750 ක් අවශ්‍ය වේ. මෙම වසර සඳහා අදාළ එන්නත් තොග ඇණවුම් කර නියමිත පරිදි දිවයිනට ගෙන ආවද, එන්නත් සිරින්ජයේ ලේබලය නිසි පරිදි නොමැති වීම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොන්දේසි අනුව ඒවා නිදහස් කර ගැනීමට නොහැකි වීමෙන් මෙම තාවකාලික හිඟය නිර්මාණය වී තිබේ.
රෝගීන් මුහුණ දෙන අපහසුතාවයන් සලකා බලා පෞද්ගලික අංශයෙන් මෙම ඖෂධය ලබා ගැනීමට දැනට අවසර දී ඇති බවත්, ඉදිරි සතිය ඇතුළත ගුවන් මඟින් අලුත් එන්නත් තොගයක් ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















