අමෙරිකානු දළ ජාතික ණය බර ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 40 සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට රජයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. බදු කප්පාදු, සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය සේවා සඳහා දිගුකාලීනව වැඩිවන රජයේ වගකීම් මෙන්ම ඉහළ යන පොලී අනුපාත මෙම ණය වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, අගෝස්තු 19 වැනි අඟහරුවාදා දින ව්‍යාපාරික කටයුතු අවසන් වන විට මුළු මහජන ණය බර ඩොලර් ට්‍රිලියන 40.05 ක් ලෙස සටහන් වී ඇත. 2026 මූල්‍ය වර්ෂය අවසන් වන විට සමස්ත ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 39.4 ක් වනු ඇතැයි කොංග්රස් අයවැය කාර්යාලය මීට පෙර පුරෝකථනය කර තිබූ නමුත්, අපේක්ෂිත මට්ටම්ද ඉක්මවා ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. උද්ධමනය, මැදපෙරදිග යුද වාතාවරණය සහ රජයේ වැඩිවන වියදම් හමුවේ ආර්ථික විශ්ලේෂකයන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත.
















