කොළඹ වරාය නගරයේ (Port City) සුඛෝපභෝගී යාත්‍රාවක පැවති සාදයකට සහභාගි වූ පිරිසකට බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ එම යාත්‍රාවේ ආපණ ශාලා දෙකක් වටලා, රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් දෙස් විදෙස් මත්පැන් තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
මෙහිදී දේශීය මත්පැන් මිලි ලීටර් 19,500ක්, විදේශීය මත්පැන් මිලි ලීටර් 45,400ක් සහ බියර් මිලි ලීටර් 244,925ක් සුරාබදු නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ නියෝග මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ සහ සුරාබදු අධිකාරි පී.එන්. හේමන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කර ඇත.
















