පලස්තීන භූමි ප්‍රදේශවල මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ෆ්‍රැන්චෙස්කා අල්බනීස්ව නැවතත් සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකානු රජය පියවර ගෙන ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ වූ නිවේදනයකින් තහවුරු වේ.
සම්බාධක පැනවීමට හේතුව ලෙස දැක්වෙන්නේ, අල්බනීස් විසින් අමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ට සහ සමාගම්වලට එරෙහිව පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා සිටීමයි. ඒ හේතුවෙන් 2025 ජූලි මාසයේදී ඇයට මුල්වරට සම්බාධක පැනවිණි. මීට පෙර ඇගේ පවුලේ සාමාජිකයින් විසින් ගොනු කළ පෙත්සමක් මත ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් මෙම සම්බාධක තාවකාලිකව අවහිර කළ අතර, ඒ අනුව මැයි මස මුලදී ඇයව සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණි. ඇය ඊශ්‍රායලයේ ගාසා යුද්ධය විවේචනය කිරීම හේතුවෙන් ට්‍රම්ප් පාලනාධිකාරිය ඇගේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කර ඇති බව එම විනිසුරුවරයා තීරණය කළේය.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ විනිසුරු මණ්ඩලයක් විසින් පහළ උසාවියේ තීන්දුව තාවකාලිකව අත්හිටුවමින්, රජයට නැවතත් අල්බනීස්ව සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීමට අවසර ලබා දුන්නේය. මෙම අභියාචනාධිකරණ නියෝගය ක්‍රියාපටිපාටියට අදාළ එකක් මිස නඩුවේ හරය පිළිබඳ තීන්දුවක් නොවන බව අධිකරණය සඳහන් කරයි.














