2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මැයි 30, 31 සහ ජූනි 01 යන දිනවලදී දිවයින පුරා මස් මාංස අලෙවිසල්, සතුන් ඝාතනය කරන ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මෙම දැනුම්දීම සිදු කර ඇත.
බෞද්ධ ආගමික වටිනාකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, එම දින තුන තුළ සියලු මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංස අලෙවිසල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංස අලෙවිය නතර කිරීමටත් උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම, අදාළ කාලසීමාව තුළ රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට දන්වා ඇත.
2026 වසරේ වෙසක් සතිය මැයි 27 වැනිදා සිට ජූනි 02 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම චක්‍රලේඛය ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර තිබේ.













