ඉරානයට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරන ජාල මර්දනය කිරීමේ පියවරක් ලෙස, ‘M/T Tifani’ නමැති තෙල් නෞකාව ඉන්දු-පැසිෆික් කලාපයේදී තම භාරයට ගත් බව අමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශය (පෙන්ටගනය) නිවේදනය කරයි. ඊයේ (20) රාත්‍රියේ දියත් කළ මෙම විශේෂ මෙහෙයුම කිසිදු ගැටුමකින් තොරව සාර්ථකව අවසන් වූ බව පෙන්ටගනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නෞකා නිරීක්ෂණ දත්ත සහ විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට පෙර ගාල්ල වරාය ආසන්න මුහුදේ නතර කර තිබී ඇත. අමෙරිකානු හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාව වන විට නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 700ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ බව වාර්තා වේ.
ඉරාන තෙල් ප්‍රවාහනය සම්බන්ධයෙන් අමෙරිකාව පනවා ඇති දැඩි සම්බාධක මධ්‍යයේ මෙම නෞකාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දු-පැසිෆික් කලාපීය නාවික ආරක්ෂාව සහ සම්බාධක ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.














