ඇමරිකානු වීසා ක්‍රමය තුළ පවතින ලිහිල් බව හේතුවෙන් චීන ඔත්තුකරුවන්ට ඇමරිකාවේ නව නිපැයුම් සහ තාක්ෂණික රහස් සොරකම් කිරීමට පහසු වී ඇති බවට එරට සෙනෙට් මණ්ඩල අනුකමිටු රැස්වීමකදී දැඩි චෝදනා එල්ල වී තිබේ. කෘතිම බුද්ධිය (AI) සහ උසස් තාක්ෂණයන් සම්බන්ධයෙන් වොෂින්ටනය සහ බීජිං පාලනය අතර පවතින දැඩි තරගකාරිත්වය මධ්‍යයේ මෙම කරුණු අනාවරණය විය.
ප්‍රධාන තාක්ෂණික හා මිලිටරි රහස් සොරකම් කරන පුද්ගලයින් සඳහා ඇමරිකාව රතු පලස් එළා පිළිගන්නා තත්ත්වයක් වීසා ක්‍රමය හරහා නිර්මාණය වී ඇති බව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික ඇෂ්ලි මූඩි (Ashley Moody) ප්‍රකාශ කළාය. තම පුරවැසියන්ගෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට සහ ඔත්තු බැලීමට නීතිමය වශයෙන් බල කරන රටවල පුද්ගලයින්ට මෙලෙස නිදහසේ ඇතුළු වීමට ඉඩ දීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ඇය අවධාරණය කළාය.
ඇමරිකානු නවෝත්පාදනයන් ආරක්ෂා කර ගැනීම සඳහා වීසා නීති වඩාත් දැඩි කළ යුතු බවට සෙනෙට් සභිකයින් පෙන්වා දෙන අතර, චීනය විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලබන මෙම බුද්ධිමය දේපළ සොරකම් වැළැක්වීම අනාගත තාක්ෂණික ආධිපත්‍යය තීරණය කිරීමට තීරණාත්මක වනු ඇතැයි එහිදී සාකච්ඡා විය.















