ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් පිරිපහදු සඳහා ලාභදායී ඉන්ධන සැපයුමක් තහවුරු කරගැනීම සහ තෙල් මිල පහත හෙළීමේ අරමුණින්, වෙනිසියුලාවේ ප්‍රධාන තෙල් නිධි රැසක අයිතිය සහ නිෂ්පාදන බලතල දීර්ඝකාලීනව ඇමෙරිකානු සමාගම් වෙත ලබාගැනීමේ විශේෂ ගිවිසුමකට දෙරට අතර සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සහ වෙනිසියුලා රජයේ ඉහළම මට්ටමේ නිලධාරීන් අතර මෙම සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී වෙනිසියුලාවේ ඔරිනෝකෝ තෙල් කලාපය (Orinoco Belt) සහ මාරකයිබෝ විල (Lake Maracaibo) ආශ්රිත ප්‍රධාන තෙල් නිධි 17ක් ඇමෙරිකානු සමාගම් වෙත බදු පදනම (Lease) යටතේ ලබාදීමට සැලසුම් කර ඇත. පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර සබඳතා යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, වෙනිසියුලාව ඔපෙක් (OPEC) සංවිධානයෙන් ඉවත්වීමට පවා මෙහිදී අවධානය යොමුකර තිබේ. කෙසේවෙතත්, වෙනිසියුලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සන්තක කර ඇති තෙල් සම්පත මෙලෙස විදේශීය සමාගම්වලට ලබාදීම හමුවේ ඉදිරියේදී දැඩි නීතිමය අභියෝග මතුවිය හැකි බවද විදේශීය නීති විශාරදයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














