එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජොයෙල් “JB” වවල් මහතා අද (29) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා සිදුකෙරෙන මෙම සංචාරය අතරතුර ඔහු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හමුවීමට නියමිතයි.
එහිදී දෙරටේ හමුදා අතර අන්තර් ක්‍රියාකාරී හැකියාව, හමුදා සූදානම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාස, ධාරිතා වර්ධන වැඩසටහන් මෙන්ම මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර සම්බන්ධ සහයෝගීතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
ලුතිනන් ජෙනරාල් වවල් මහතා ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ හමුදා නායකයින් අමතමින් කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සම්බන්ධයෙන් වෘත්තීය හමුදා බලකායන්ගේ කාර්යභාරය පිළිබඳවද අදහස් දැක්වීමට නියමිතයි.
එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ, මෙම සංචාරය දෙරටේ යුද හමුදා අතර වර්ධනය වෙමින් පවතින සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, මැයි මාසයේ පැවති Land Forces Talks සාකච්ඡාවලින් ලද ප්‍රගතියද තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.














