4 May 2024
#දේශීය #පුවත්

අවශ්‍ය වේලාවට වෙපන් එක පාවිච්චි කරන්න… හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැති ටිරාන්

පාතාල අපරාධ මැඩපැවැත්වීමට ඕනම හදිස්සි වෙලාවක තමන් අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවනම් හරි දේට පාවිච්චි කරන්න යැයි අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිරයැමේ උත්සවය පැවැති අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ අදහස් පල කලේය “ මම අමාත්‍යාංශය භාර ගන්න කොට ඔබ සියලු දෙනාම දන්නවා ශ්‍රී ලංකා පොලිසිය වැටිලා තිබුණු තත්ත්වය. අරගලය කාලෙ පොලිස් නිලධාරීන්ට මුහුණ දෙන්න සිදුවී තිබුණු දේවල් අපි රූපවාහිනියේ දැක්කා. මගේ වගකීම තිබුණේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය නගා සිටුවන්න. මම ඒ වෙලාවේ විශ්වාස කෙරුවා ඔබලා වෙනුවෙන් අපි කෙලින් පෙනී සිටිනවා නම් ඔබ සියලු දෙනාට විශාල වැඩ කොටසක් මේ රටේ කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ වෙලාවේ තීරණය කෙරුවෙ මගේ පැත්තෙන් කළ යුතු දේ ශ්‍රී ලංකා පොලිසියට කරනවා කියලා. ලබා දෙන්න තියෙන දේවල් ලබාදෙන්න. අපි එකපාරක් බටා වැඩි කෙරුවා.ආහාර හා නවාතැන් දීමනාවක් දුන්නා. වාහන ලබා දුන්නා. ඒ සියලු දේ ලබා දෙනකොට මට විශ්වාසයක් තිබුණා ශ්‍රී ලංකා පොලිසිය දැන් තියෙන තත්ත්වයට නඟා සිටුවන්න පුළුවන් වෙයි කියලා. යුක්තිය මෙහෙයුම පටන් ගන්න හේතුව අපේ රට කුඩු වලින් හා පාතාලයෙන් බේරගන්න. අපේ දරු පරපුර බේරගන්න. යුක්තිය මෙහෙයුම පටන් ගන්න කලින් අපි මේක අධ්‍යයනය කළා. පොලිස්පතිතුමාව පොලිස්පති කරන්න යම් වෙහෙසක් ගන්න සිදුවුණා. මා දැනගෙන සිටියා එතුමට කරන්න පුළුවන් මොකක්ද කියල ඒ අනුව අපි මෙහෙයුම පටන් ගත්තා. මං අද මේ මෝටර් සයිකල් කණ්ඩායමේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා බය නැතුව අපිට යා යුතු ඉලක්කයට යන්න. ඕනම හදිස්සි වෙලාවක තමන් අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවනම් හරි දේට පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. ඒ වගේම වැරදි දේවල් කරන අයට විරුද්ධව තදින් ක්‍රියාත්මක වෙනව. මේ මෝටර් සයිකල් කණ්ඩායමට තෝරගත්තු ඔබ සැම දන්නවා මේ මෝටර් සයිකල් කණ්ඩායමේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ කණ්ඩායම මදි වුනොත් අපි තවත් මෝටර් සයිකල් කණ්ඩායමක් පිහිටවනවා. අපේ එක ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මේ වන විට සියලු පොලිස් නිලධාරීන් දන්නවා . මට අවශ්‍ය ඒ ඉලක්කයට යෑම පමණයි. ඒ නිසා අද ඉඳන් මේ වැඩ කොටස කරන්න කැපවෙන්න. අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ මහජනතාව බේරගන්න ක්‍රියාදාමයකට යන්නෙ. දෙපාරක් හිතන්න ඕනේ නෑ මේ රටට කුඩු ගේන, කුඩු විකුණන, පාතාල ක්‍රියාකාරකම් කරන පුද්ගලයන් මේ රටෙන් තුරන් කිරීම පවක් නෙමෙයි .ඒක හොඳට හිතට අරගෙන අද ඉඳන් පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් එතුමා දෙන උපදෙස් පරිදි වැඩ කරගෙන ගිහිල්ලා අපේ මේ රට හොඳ තැනකට ගෙනියමු යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *