4 May 2024
#දේශීය #පුවත් #සංවර්ධන

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර යළි ඇරැඹීමට ඇමැති ෂෙහාන් මැදිහත් වෙයි

දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි.

ඒ අනුව හැකි ඉක්මණින් ඊට අදාළ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත් වුණේ ජපාන අන්තර්ජාතින සහයෝගීතා ඒජන්සියේ මෙරට ප්‍රධානී යමඩා ටෙට්සුයා මහතා ඇතුළු පිිරිසකගේ සහභාගීත්වයෙනි.

2016 වසරේ ආරම්භකොට 2024 වසරේ ජූනි මාසයේ දී වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන යෙන් මිලියන 19,409ක් වැය කිරීමට නියමිත ව තිබිණි. පදවිය, හොරොව්පතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් වසම් 119ක පවුල් 50,000කගේ පානීය ජල අවශ්‍යතා සම්පාදනය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙයි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගොවි විරෝධතා, කොවිඩ් ඇතුළු විවිධ හේතූන් මත එහි කටයුතු අවසන් කිරීම සඳහා තවත් වසර තුනක පමණ කාලයක් ගත වනු ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය එහි දී කියා සිටියේ. මෙම කාල රාමු දිගු කිරීම සඳහා ණය ලබා දෙන ආයතනයේ අනුමැතිය සේ ම කැබිනට් අනුමැතිය ද අවශ්‍යය. JICA ආයතන ණය ලබා දීමේ කාල රාමුව දිගු කිරීමට එකගත්වය පළ කිරීමත් සමග ඊට අදාළ යෝජනාව මීළග කැබිනට් මණ්ඩල හමුව වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය. එසේ ම අදාළ කාල සීමාව හැකි තාක් කෙටි කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට පුමුඛත්වය ලබා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *