ඉරානය සමඟ පවතින යුදමය උණුසුම තවත් තීව්‍ර කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය තෙවන ගුවන් යානා වාහක නෞකාව වන USS George HW Bush මැදපෙරදිග කලාපයට කැඳවා තිබේ. සෙබළුන් පන්දහසක් සහ අතිනවීන ප්‍රහාරක ජෙට් යානා දසදහස් ගණනකින් සමන්විත මෙම දැවැන්ත නෞකාව දැනටමත් ඉරානයට ආසන්න මුහුදු සීමාවට පැමිණ ඇති බව ඇමෙරිකානු මධ්‍යම විධානය තහවුරු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇති වී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ඇමෙරිකාව සිය නාවික බලයෙන් හතළිස් ප්‍රතිශතයක්ම මේ වන විට මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර තිබීම විශේෂත්වයකි.
දැනටමත් කලාපයේ මෙහෙයුම් සිදුකරන USS Gerald R Ford සහ USS Abraham Lincoln යන නෞකා ද්විත්වයට මෙම නව නෞකාව එක්වීමත් සමඟ ඇමෙරිකානු යුද ශක්තිය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ඉරානය විසින් පනවා ඇති මුහුදු අවහිරතා බිඳ දැමීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ජාත්‍යන්තර තෙල් ප්‍රවාහනය සුරක්ෂිත කිරීමට මෙම නාවික බලඇණිය යොදා ගැනීමට නියමිතය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කරන ලෙස ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට මෙම නව අතිරේක බලඇණිය සෘජුවම දායක වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම නෞකාව සතු තවත් සුවිශේෂී අංගයක් වන්නේ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා අත්හදා බලන ලද නවතම ලේසර් අවි පද්ධතියයි (LOCUST Laser Weapon System). ඉරානය විසින් දියත් කරන ලාභදායී ප්‍රහාරක ඩ්‍රෝන යානා විනාශ කිරීම සඳහා මෙම තාක්ෂණය ඉතා සාර්ථකව යොදාගත හැකි බව ඇමෙරිකානු නාවික හමුදාව පවසයි. දෙපාර්ශ්වයම සටන් විරාමයක් පවතින බව ප්‍රකාශ කළද, හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ නෞකා අත්පත් කර ගැනීම් සහ ප්‍රහාර එල්ල වීම් දිගින් දිගටම වාර්තා වීම හේතුවෙන් කලාපය දැඩි යුද අවදානමක පවතී.














