ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ වාර්තාකරණයේ නියැලී සිටි අමල් ඛලීල් සහ සයිනාබ් ෆරාජ් යන මාධ්‍යවේදිනියන් ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ මාරාන්තික ප්‍රහාරයත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ බරපතළ කතාබහක් නිර්මාණය වී තිබේ. ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ආරක්ෂාව පතා නිවසකට ඇතුළු වූ මෙම මාධ්‍යවේදිනියන් පිරිස ඉලක්ක කරමින් ඊශ්‍රායල ජෙට් යානා ප්‍රහාර එල්ල කර ඇති අතර සුන්බුන්වලට යට වූ අමල් ඛලීල් බේරා ගැනීමට පැමිණි රතු කුරුස ගිලන් රථවලට පවා ඊශ්‍රායල හමුදාව වෙඩි තබා බාධා කළ බව ලෙබනන් බලධාරීහු චෝදනා කරති. මියගිය අමල් ඛලීල් මීට පෙර පවසා තිබුණේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය විසින් තමන්ට සෘජුවම මරණ තර්ජන එල්ල කර තිබූ බවයි.
මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) පෙන්වා දෙන්නේ 2024 සහ 2025 වසරවල ලොව පුරා මියගිය මාධ්‍යවේදීන්ගෙන් තුනෙන් දෙකකටම වගකිව යුත්තේ ඊශ්‍රායලය බවයි. මෙය වසර තිහකට පසු වාර්තා වූ ඉහළම මාධ්‍ය මරණ සංඛ්‍යාව ලෙස සැලකෙන අතර ඊශ්‍රායලය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතා ලෙස පෙනී සිටියද ඔවුන් ක්‍රියා කරන්නේ කිසිදු නීතියකට හෝ සීමාවකට යටත් නොවන ආකාරයෙන් බව විචාරකයෝ පවසති. බොහෝ විට ඊශ්‍රායලය පවසන්නේ මියගිය මාධ්‍යවේදීන් හමුදා ඇඳුම් ඇඳගත් සටන්කාමීන් බව වුවත් ඒ සඳහා පදනම් විරහිත සාක්ෂි ඉදිරිපත් කිරීම සහ ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.
මෙම යුදමය වටපිටාව තුළ සත්‍ය තොරතුරු ලෝකයට ගෙන යන මාධ්‍යවේදීන් හිතාමතාම ඝාතනය කිරීම සහ මානුෂීය මෙහෙයුම්වලට බාධා කිරීම ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. හෝමුස් සමුද්‍ර සන්ධියේ යුද්ධය සහ ලෙබනන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන සටන් විරාමයන් සහ සැබෑ භූමියේ තත්ත්වය අතර පවතින පරස්පරතාව හෙළි කරන්නේ ද මෙම දිවි පරදුවට තබා වැඩ කරන මාධ්‍යවේදීන්ය. කිසිදු වගවීමකින් තොරව ඊශ්‍රායලය සිදුකරන මෙම ක්‍රියාවන් හමුවේ ලෝක ප්‍රජාව සතු සාරධර්ම සහ නීති පද්ධතිය මේ වන විට දැඩි පරීක්ෂාවකට ලක් වෙමින් පවතී.














