රජය විසින් සිදු කරනු ලබන වැට් (VAT) බදු සංශෝධන හරහා බලාපොරොත්තු වන්නේ අලුතින් බදු පැනවීමක් නොව, බදු පද්ධතිය විධිමත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් පවතින රටක් ලෙස රාජ්‍ය ආදායම ඉලක්ක කර ගනිමින් මෙම බදු ප්‍රතිපත්තිය සකස් කර ඇති බවත්, මෙහිදී සාධාරණත්වය සහ විනිවිදභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, දේශීය ගොවියා සහ ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගනිමින් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි.විපක්ෂය විසින් මෙම බදු සංශෝධන පිළිබඳව අනවශ්‍ය බියක් ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කළ ද, පවතින ආර්ථික යථාර්ථයන්ට මුහුණ දෙමින් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට බලපෑම් අවම වන පරිදි මෙම කළමනාකරණය සිදු කරන බව ඔහු අවධාරණය කළේය.එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා, අතීතයේ අධිකරණයට බලපෑම් සිදු කළ පිරිස් අද නීතියේ ආධිපත්‍යය ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බව පැවසීය. වත්මන් රජය කිසිදු අවස්ථාවක අධිකරණ ක්‍රියාවලියට මැදිහත් නොවන බවත්, නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීම නිසා බියට පත් වූ පිරිස් මෙවැනි චෝදනා නගන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















