වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉදිරියටත් දීර්ඝ කිරීම මෙරට වාහන වෙළෙඳපොළ තුළ දැඩි සංකූලතා ඇති කිරීමට හේතු විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
ලබන අගෝස්තු 15 වැනිදායින් පසු රජය ගනු ලබන තීරණය වෙළෙඳපොළේ ඉදිරි ප්‍රවණතාවලට සෘජුවම බලපාන බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම, වාහන ආනයන සීමා කිරීම් හෝ අධිභාර පැනවීම් සිදු වූ වහාම වෙළෙඳපොළ තුළ කම්පනකාරී තත්ත්වයන් සහ පාරිභෝගිකයින් විසින් මධ්‍යස්ථව ණයවර ලිපි (LC) විවෘත කිරීමට පෙළඹීම වැනි තත්ත්වයන් මතුවිය හැකි බව ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම ආර්ථික විශ්ලේෂකයා පෙන්වා දෙන ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
මේ වන විට මෙරට වාහන සඳහා පැවති ඉල්ලුම සැලකිය යුතු මට්ටමකට සපුරා ඇති බැවින්, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වාහන ආනයනයෙන් රජයට ලැබෙන බදු ආදායම පහළ යා හැකි බව ඔහු පුරෝකථනය කරයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාවලට අනුව අමතර අධිභාර පැනවීමේ හැකියාවක් නොමැති වුවද, දැනට ක්‍රියාත්මක අධිභාර ඉවත් කළහොත් වෙළෙඳපොළ තුළ නැවත වරක් කම්පනකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය.
වාහන සඳහා දැනටමත් 150% සිට 200% දක්වා ඉහළ තීරුබදු අය කරන බැවින් තවදුරටත් එවැනි බදු පැනවීම සාධාරණ නොවන බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. රජය එකම බදු ගෙවන්නන් පිරිසක් මත බර පැටවීම වෙනුවට රාජ්‍ය වියදම් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම තුළින් බදු ආදායම ඉහළ නංවා ගැනීමටත්, ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන බවට වෙළෙඳපොළට ශක්තිමත් සංඥාවක් ලබා දීමටත් හැකි වනු ඇත.
















