විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වඩාත් විධිමත් සහ නම්‍යශීලී නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
වත්මන් විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ලියාපදිංචි වී සිටින්නේ ඉතා අවම පිරිසක් පමණක් වන බැවින්, එම ක්‍රමවේදයේ ඇති අඩුපාඩු නිවැරදි කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම නව ක්‍රමවේදය යටතේ ශ්‍රමිකයන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම් අනුව තෝරාගත හැකි නම්‍යශීලී විකල්ප රැසක් හඳුන්වා දේ. ඒ අනුව, සේවා කාලය අවසානයේ මාසික විශ්‍රාම වැටුපක් ලෙස හෝ කල් පිරුණු පසු එකවර ලැබෙන ස්ථාවර මුදලක් ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රමිකයාට නිදහස හිමිවෙයි.
ප්‍රේෂණ නිවැරදිව වාර්තා කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව විශේෂිත ඩිජිටල් යෙදවුමක් හඳුන්වා දීමටද සැලසුම් කර ඇත. මෙය හරහා සෑම ශ්‍රමිකයෙකුටම තමන් එවූ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳ නිල වාර්තාවක් පහසුවෙන් ලබා ගත හැකි අතර, එම දත්ත පදනම් කරගෙන ඔවුන්ට හිමිවන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය විනිවිදභාවයකින් යුතුව තීරණය කෙරේ.
කුවෙට් අරමුදලින් රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සඳහා රුපියල් බිලියන 2.1ක් වෙන් කර ඇති අතර, 2026 දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට රජය ඉලක්ක කර ඇත. මෙම සමස්ත වැඩපිළිවෙළ ශ්‍රමිකයාගේ ස්වේච්ඡා කැමැත්ත මත පමණක් සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ඇත.
















