රජය විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නව ගැසට් පත්‍රයක් හේතුවෙන් මෙරට වාහන මිල නැවත වරක් විශාල ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. දැනට ක්‍රියාත්මක වන, වසර 10ක් පැරණි 2016 වාහන තක්සේරු කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා සඳහන් කළේය.
ලෝක රේගු සංවිධානයේ (WCO) සම්මුතීන්ට අනුව වාහන සඳහා අවම මිලක් නියම කිරීමට නොහැකි වීම නිසා මෙම නව සංශෝධනය සිදු කිරීමට රජයට සිදුව ඇත. මේ හරහා වාහනවල වටිනාකම තක්සේරු කරන ක්‍රමවේදය වෙනස් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බදු මුදල් ඉහළ යාමෙන් අලුත් මෙන්ම පාවිච්චි කරන ලද වාහනවල මිල ගණන් ද ඉදිරියේදී සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි සභාපතිවරයා පෙන්වා දෙයි.
මේ වන විටත් පනවා ඇති 150%ක අධිභාරය (Surcharge) හේතුවෙන් වෙළෙඳපොළට අලුතින් පැමිණෙන වාහනවල මිල ගණන් ලක්ෂ ගණනින් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට වත්මන් මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීම වඩාත් ලාභදායී වන බවත්, ආනයනකරුවන් සිය බැංකු පොලී පියවා ගැනීම සඳහා අවම ලාභයක් තබා ගනිමින් දැනට වාහන අලෙවි කරන බැවින් පාරිභෝගිකයන්ට මේ මොහොතේ වැඩි වාසියක් හිමිවන බවත් මෙරංචිගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















