ටෙහෙරාන් නුවර පැවැති ඉරාන නායකත්වයේ අවමංගල්‍ය උත්සවය, හුදෙක් ශෝකී අවස්ථාවකට එහා යමින් ලෝක බලවතුන්ට සහ කලාපීය මිත්‍ර පාර්ශවයන්ට සූක්ෂ්ම දේශපාලන සහ යුධමය පණිවිඩ (Coded Messaging) නිකුත් කරන රාජ්‍යතාන්ත්‍රික මෙවලමක් බවට ඉරානය විසින් පත්කර ගෙන තිබේ. අවමංගල්‍යයට සහභාගී වූ සෑම විදේශීය නියෝජිත කණ්ඩායමක්ම දේහයන් අසලින් ගමන් කරන විට කෙටි කුරාණ පාඨ ගායනා කර ඇති අතර, එක් එක් රටවල භූමිකාව අනුව එම පාඨයන් ඉතා සූක්ෂ්මව තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
සෞදි අරාබිය වෙනුවෙන් තෝරාගෙන තිබුණේ එදින ඇසුණු තියුණුම පණිවිඩයයි. “දෙවියන් වෙනුවෙන් සටන් වැදුණු හමුදාව සහ දෙවියන් ප්‍රතික්ෂේප කළ හමුදාව…” යන පාඨය එහිදී කියැවුණු අතර, එය වත්මන් සෞදි පසෙහි සිදුවූ, සුළු පිරිසක් විසින් මහා සේනාවක් පරාජය කළ ‘බදර් යුද්ධය’ (Battle of Badr) සිහිපත් කිරීමකි. නිශ්ශබ්දව බලා නොසිට සටනට අවතීර්ණ වන අයගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරන පාඨයක් තුර්කිය වෙනුවෙන් කියැවුණු අතර, එයින් ඉරානය ඉල්ලා සිටින්නේ තුර්කිය මැදපෙරදිග ගැටුම් දෙස බලා නොසිට තමන් දෙසට නැඹුරු විය යුතු බවයි.
එමෙන්ම ඇමතුම ලැබුණු සැනින් කැපකිරීම් කිරීමට මැලිවන පිරිස් විවේචනය කෙරෙන පාඨයක් ලෙබනන් රජයේ නියෝජිතයන්ට ඇසෙන්නට සැලැස්වූ අතර, ඊට ප්‍රතිවිරුද්ධව හිස්බුල්ලා (Hezbollah) සංවිධානය වෙනුවෙන් කියැවුණේ කිසිවිටෙකත් අධෛර්යමත් නොවන ලෙසත්, අවසානයේ ජයග්‍රහණය හිමිවන්නේ ඔවුන්ට බවත් කියැවෙන ධෛර්යමත් පණිවිඩයකි. හමාස් (Hamas) සංවිධානය වෙනුවෙන් දෙවියන් සමඟ වූ ගිවිසුම අකුරටම ඉටුකළ, ඇතැමුන් දැනටමත් දිවිපිදූ සහ තවත් අය තමන්ගේ වාරය එනතුරු බලා සිටින පිරිස් පිළිබඳ වැකියක් වෙන්කර තිබූ අතර, සටන අත්නොහැර ඍජුව සිටින සැබෑ ඇදහිලිවන්තයන් ලෙස හූති (Houthis) සටන්කාමීන්ව කුරාණ පාඨ හරහා ඇගයීමට ලක් කෙරුණි. අවසාන වශයෙන් ටෙහෙරාන් සහ වොෂින්ටන් අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන කටාර් (Qatar) රාජ්‍යයට සමාව සහ දිව්‍යමය කරුණාව පිළිබඳ මෘදු වැකියක් වෙන්කර තිබූ අතර, එය දේවධර්මයෙන් වැසුණු ස්තූති කතාවක් බඳු විය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















