ඇමරිකානු ඩොලරයක් අතැතිව මාධ්‍ය හමුවක් ඇමතූ බත්තරමුල්ලේ සීලරතන හිමියන්, වත්මන් පාලනය යටතේ ඩොලරයේ අගය පාලනයකින් තොරව ඉහළ යෑම ජනතාවට එල්ලවූ මරු පහරක් බව අවධාරණය කළහ. උන්වහන්සේගේ ප්‍රකාශයට අනුව, ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම හමුවේ ජනතාවට සහන සැලසීමට රජය දැක්වූ අසාර්ථකත්වය ඉතා පැහැදිලිය.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට කොටුවී එම මුදල් පරිභෝජනය කරමින් සිටියද, ජනතාව තවදුරටත් පීඩනයට පත්ව සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ අනුව, වහාම බලපෑ හැකි පරිදි ඩීසල් මිල සහ විදුලි බිල අඩු කර ජනතාවගේ බර සැහැල්ලු කරන ලෙස උන්වහන්සේ රජයට බලකළහ.
මැතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් සහන පොරොන්දු “ගුලි” ලබා දීමක් වැනි මුළාවන් බවත්, ටකරන් සඳහා රුපියල් ලක්ෂ දෙකක් ලබා දීමට ලබා දුන් පොරොන්දුව පවා අමතක කර දමා ඇති බවත් සීලරතන හිමියන් චෝදනා කළහ. අවසානයේ ජනතාවට ඉතිරි වී ඇත්තේ සහනයක් නොව පීඩනය පමණක් බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
















