රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග හමුවේ රජයට පමණක් දොස් පැවරීම වෙනුවට ජනතාව ද වගකීමෙන් කටයුතු කරමින් අරපිරිමැස්මෙන් ජීවත් වීමට පුරුදු විය යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසති.
විදුලිය, ජලය සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් පළ කරන පසුබිමක, උන්වහන්සේ අවධාරණය කරන්නේ පිනට හෝ දීමනා ලෙස මුදල් බෙදා දෙන ‘අස්වැසුම’ වැනි වැඩසටහන් වහාම අහෝසි කළ යුතු බවයි. මෙවැනි සහන දීමනා මගින් ජනතාව තුළ ස්වයංපෝෂිත වීමට ඇති උනන්දුව හීන වන බවත්, ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් මෙවැනි ක්‍රමවේදවලින් මිදිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.
රටක සංවර්ධනය සඳහා රජයේ ප්‍රතිපත්ති මෙන්ම ජනතාවගේ පරිභෝජන රටාවන් ද නිවැරදි විය යුතු බව පවසන රාහුල හිමියන්, තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සැමවිටම අරපිරිමැස්ම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සංස්කෘතියක් උත්තරීතර විය යුතු බව ද සඳහන් කරති.
















