පසුගිය ජූනි 24 වැනිදා වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 4,333 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික මණ්ඩලයේ සභාපති ජෝර්ජ් රොඩ්රිගස් (Jorge Rodriguez) සෙනසුරාදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. මියගිය පිරිසෙන් පුද්ගලයන් 315 දෙනෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 16,740ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම සහන කණ්ඩායම් විසින් සුන්බුන් අතරින් පුද්ගලයන් 6,462 දෙනෙකු බේරාගෙන තිබෙන අතර 17,000කට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බවද හෙළිව තිබේ.
මෙම ආපදාවෙන් වෙනිසියුලාවේ ගොඩනැගිලි 856කට දැඩි හානි සිදුව ඇති අතර, ඉන් ගොඩනැගිලි 190ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී හෝ ව්‍යූහාත්මකව විනාශ වී ඇත. රජයේ මූලික ඇස්තමේන්තුවලට අනුව විපතට පත්වූවන් වෙනුවෙන් නව නිවාස 25,000ක් පමණ අවශ්‍ය වන අතර, මේ වන විටත් ඔස්මා (Osma) සහ චුස්පා (Chuspa) ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන තිබේ. ඒ අනුව ලබන සතියේ සිට අවතැන් වූවන් වෙනුවෙන් නිවාස බෙදා දීමේ කටයුතු ආරම්භ කරන බවත්, තවමත් සුන්බුන් අතර සිරවී සිටින ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වෙනිසියුලා බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
















