දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ජූලි මාසයේ ගතවූ මුල් දින 10 තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු වාර්තා වී තිබේ. පවතින බරපතළ තත්ත්වය හමුවේ දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ නංවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට අඛණ්ඩව 1,000 සීමාව ඉක්මවා යමින් පවතින බවයි. ඒ අනුව පසුගිය ජූලි 6 වැනිදා රෝගීන් 1,360ක්, 7 වැනිදා 1,413ක්, 8 වැනිදා 1,300ක්, 9 වැනිදා 1,030ක් සහ ඊයේ එනම් ජූලි 10 වැනිදා රෝගීන් 1,079ක් ලෙස වෛරසය වැළඳුණු පුද්ගලයන් වාර්තා වී ඇත.
පසුගිය ජූනි මාසය පුරාම මෙරටින් ඩෙංගු රෝගීන් 21,538 දෙනෙකු වාර්තා වී තිබූ නමුත්, ජූලි මාසයේ මුල් දින 10 තුළම එම ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයකි. මෙම වර්ධනයත් සමඟ වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි. පවතින වැසි සහිත කාලගුණයත් සමඟ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















