වෙනිසියුලාවට පසුගිය ජුනි 24 වැනිදා බලපෑ දරුණු භූමිකම්පාවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (08) තිස්සේ සිරවී සිටි පුද්ගලයෙකු පණපිටින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. ටොන් ගණනක් බරැති සුන්බුන් යට මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටින බව හඳුනා ගැනීමෙන් පසුව ද, ඔහුව ආරක්ෂිතව පිටතට ගැනීම සඳහා පමණක් සහන සේවකයන්ට පැය 100කට වඩා වැඩි කාලයක් අඛණ්ඩව වෙහෙස වීමට සිදු විය.
ගලවාගැනීමේ නිලධාරීන් ඔහු වෙත ළඟා වීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම, කඩාවැටුණු ගොඩනැගිල්ලේ ඉතිරි කොටස් ද යළි යළිත් කඩා වැටීම හේතුවෙන් මෙම මෙහෙයුම අතිශය දුෂ්කර හා අවදානම් සහගත එකක් බවට පත්ව තිබුණි. ලෝකයේ රටවල් රැසක සහයෝගය ඇතිව දිවා රෑ නොබලා සිදුකළ මෙම විශේෂ මෙහෙයුම සඳහා චිලී, කොස්ටාරිකා, එල් සැල්වදෝරය, මෙක්සිකෝව, පෘතුගාලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සහන කණ්ඩායම් සක්‍රීයව දායක විය. මෙම ද්විත්ව භූමිකම්පාව හේතුවෙන් වෙනිසියුලාවේ මේ වන විට පුද්ගලයින් 2,300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර තවමත් අතුරුදහන්ව සිටින දස දහස් ගණනක් සෙවීමේ සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකය.
















