අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති උත්සාහය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය (සජබ) සිය විරෝධය පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් සජබ මාධ්‍ය අංශය අද (03) නිකුත් කළ නිවේදනය මගින් මෙම පියවර හරහා ආණ්ඩුව අධිකරණ පද්ධතිය දැඩි අර්බුදයකට ලක් කිරීමට උත්සාහ කරන බව අවධාරණය කරයි.
සුදුසුකම් ඇති අනෙකුත් විනිසුරුවරුන්ට උසස්වීම් ලැබීමට ඇති අවස්ථාව වසර දෙකකින් ප්‍රමාද කිරීම බරපතල අසාධාරණයක් බව පෙන්වා දෙන සජබ, මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වැනි ඡේදයේ මූලික යුතුකම් යටතේ පෙන්වා දෙන (ඉ) වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් ස්ථාවර කර ඇති බැවින්, ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ හැක්කේ සමස්ත ව්‍යවස්ථාවටම කෙරෙන සංශෝධනයකින් පමණක් බවද එහි දක්වා ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ අන්තර්ගතය සමඟ තමන් ද එකඟ වන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි. බලය රැකගැනීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට දරන ප්‍රයත්නය පරාජය කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමටත් සියලු පුද්ගලයන්, සංවිධාන සහ දේශ trịපාලන පක්ෂ එක්විය යුතු බව සජබ අවධාරණය කර සිටී.
















