හිටපු උපකුලපති මහදුරාවේ ළමාවංශ ලෙහෙසියෙන් ඔහුට කරන අභියෝගයක් අමතක කරන පුද්ගලයෙකු නොවන බව ඔහු පිළිබදව දන්නෝ දනිති.තම නිලධාරීන් ඉදිරිපිටදී කහගල සාරානන්ද හිමියන් තමන්ට සිදුකල අවමානයෙන් පසුබැස ඒමට සිදු වුවද ඔහු එසේ පැමිණෙන්නේ නිම නොවන පලිගැනීමක් තම සිතේ ගැඹුරු ස්ථානයක තැන්පත් කරගෙන බව ඊට පසුව සිදුවූ සිදුවීම් දාමයෙන් පැහැදිලි වේ.
ඊට ආසන්න දිනෙක පෙරවරුවේ උපකුලපති කාර්යාලයෙන් හදිසි රැස්වීමක් කැදවේ.මෙම රැස්වීම සදහා කැදවීම් ලබන්නේ නියෝජ්‍ය උපකුලපති, ලේඛකාධිකාරී, නේවාසික අධ්‍යක්‍ෂවරයා, ප‍්‍රධාන විනයාරක්‍ෂක නිලධාරී, ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරී යන සීමිත නිලධාරීන් පිරිස පමණි.මෙම පිරිස කල්තබා කැදවූ එවකට උපකුලපති ළමාවංශ ඔවුන් දැනුවත් කරන්නේ “දැන් සාරානන්ද මෙතනට ගෙන්නනවා. මම එයාගෙ ගණන් බස්සනවා.” කියමිනි.ඉන් අනතුරුව සාරාණන්ද හිමියන්ගේ කෙටි ගුණ ගායනාවකට පිරිස සම්බන්ධ විය.
විනාඩි කිහිපයකින් සාරානන්ද හිමි වඩින බව කියමින් උපකුලපති කාර්යාලයේ ලිපිකරු සුදු රෙද්දක්ද රැගෙන දිව ආවේ ආසනයක් පැනවීමටය.”යනව යන්න මොන රෙදිද ඔය යකාට” යනුවෙන් වූ ළමාවංශගේ කෝපාවිෂ්ඨ බැණ වැදීමෙන් ලිපිකරුවා එළියට ගියා නොව විසි උනා සේ විය.
අනතුරුව සාරානන්ද හිමි උපකුලපති කාර්යාලය ඇතුලට වැඩි අතර පිලිගැනීමකින් හෝ ඇතිරිල්ලක් එළීමෙන් තොරව සාමාන්‍ය අසුනක අසුන් ගන්නා මෙන් උපකුලපතිවරයා විසින් එහිමියන්ට සන් කෙරිණි.
සාරානන්ද හිමියන් අසුන්ගත් වහාම සැලසුම්කල ප‍්‍රහාරය ආරම්භ වූ අතර සාරානන්ද හිමියන්ට කටක් ඇරීමට වත් ඉඩ නොතියා තදබල මෙන්ම තර්ජනාත්මක වාග් ප‍්‍රහාරයක් එල්ල කෙරිණ.නින්දා සහගත බැණ වැදීම ඉවසීමෙන් අනුදැන වදාරා සිටි එහිමියන් සන්සුන් ලෙස නමුත් සෘජුව ළමාවංශ අමතමින් කියා සිටියේ තමන් කිසිවෙකුගේ වහලෙක් නොවන බවත් වරදක් කර ඇත්නම් සිදු කල යුත්තේ කාර්යාලයට කැදවා බැණ වැදීම නොව ඒ සම්බන්ධයෙන් නීත්‍යාණුකූල පියවර ගැනීම බවය.
සාරානන්ද හිමිගේ මෙම අනපේක්‍ෂිත ප‍්‍රතිචාරයෙන් කිසිවක් කර කියා ගත නුහුණ ළමාවංශ “දැන් යන්න පුළුවන්” යනුවෙන් කියමින් සාරානන්ද හිමි කාර්යාලයෙන් බැහැර කළේය.
අනතුරුව කුමන්ත‍්‍රණය ඇරඹිණි.
මේ මිනිහා මාරු කරන්න හොද තැනැක් කියන්නැයි උපකුලපතිවරයා ඉල්ලා සිටියේ පීඩනය සහ ලැජ්ජාව හේතුවෙන් තම නළලට නැගුන දහඩිය අතින් පිස දමමිනි.
සට්ටැඹි නිලධාරියෙකු වහාම යෝජනා කර ඇත්තේ සාරානන්ද හිමියන් AQ 40 නැමැති විශ්වවිද්‍යාලයේ නැගෙනහිර කෙළවර ඇති කුඩා පිරිමි නේවාසිකාගාරයක් වෙත මාරුකර යැවිය හැකි බවය.
යෝජනා කරන ලද නේවාසිකාගාරයට ඒ වන විටත් සිසුන් අනුයුක්ත කර නොමැති බවත් පෙර කාලයේ නිල නිවාසයක් වශයෙන් භාවිතා කල එහි උපශාලාධිපති කෙනෙක් සදහා වෙනම නවාතැන් හෝ නානකාමර පහසුකම් සැපයීමට හැකියාවක් නොමැති බවත් තවත් නිලධාරියෙකු පෙන්වා දුන් විට උපකුලපතිවරයා හැහ් ! හැහ් ! යනුවෙන් වන සිය අප‍්‍රසන්න සිනහව නගමින් කියා සිටියේ එහෙම තමයි හොද අද හවස් වෙනකොට මාරු කිරීමේ ලියුම ගහල භාරදෙන්න මනුස්සයට එතනට අදම යන්න කියන්න. ඩිරෙක්ටර් ඇකමඬේෂන් ඒ ගැන හොයල වැඬේ කරන්න ඕන යනුවෙනි.
තම වෛරය පිරිමසා ගැනීම සදහාත් හීනමානය දුරු කර ගැනීම සදහාත් ස්වාමීන් වහන්සේ නමකට එරෙහිව නිල බලය අවභාවිතා කලේ එලෙසටය.
– මතු සම්බන්ධයි
















