වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ විෂය මූලික නීති පද්ධතිවලට ගරු කිරීම වියට්නාමයෙන් උගෙන ගත හැකි වැදගත් පාඩමක් බවයි. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඉදිරියේදී පුළුල් හවුල්කාරීත්වයක් දක්වා වර්ධනය කර ගන්නා බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ලැබීම තමා ලද ගෞරවයක් බවත්, ජාතික ස්ථාවරත්වය සහ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම සහ ජනතාවගේ අධිෂ්ඨානය මත සාමය සහ සමෘද්ධිය සපිරි දේශයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
වියට්නාම් ජනතාවගේ හදවත් තුළ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත්, හෝ චි මින් ජනාධිපතිතුමා සිය විප්ලවීය සමයේ අවස්ථා තුනකදී මෙරට නැවතී සිටි බවත් ඔහු සිහිපත් කළේය. කොළඹ පිහිටි හෝ චි මින් ජනාධිපතිතුමාගේ පිළිරුව දෙරට අතර පවතින සෙනෙහසේ සංකේතයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














