වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා හෙට (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් අමතා විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිතය.
හෙට පෙරවරු 11.05 ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ජනාධිපතිවරයාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගනු ලබන අතර අනතුරුව ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පැවැත්වෙන අතර එහිදී අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සටහනක් තැබීමට ද නියමිතය. පෙරවරු 11.40 ට සභා ගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් අමතා සිය දේශනය සිදු කරන අතර මෙය 2015 වසරෙන් පසුව විදේශීය රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ. ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා – වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිත අතර දේශනය අවසානයේ සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇත.














