තමිල්නාඩු මහ ඇමැති ජෝසප් විජේ මහතා ප්‍රමුඛ ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) රජය අද (13) සිය බහුතර බලය ප්‍රදර්ශනය කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ පැවැති විශ්වාසය විමසීමේ ඡන්දයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. මැයි 13 වනදාට පෙර සිය බහුතරය ඔප්පු කරන ලෙස ආණ්ඩුකාර ආර්.වී. අර්ලේකර් මහතා ලබාදුන් නියෝගයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
විශ්වාසය විමසීමේදී විජේ මහතාගේ පරිපාලනයට පක්ෂව මන්ත්‍රීවරු 144 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 22ක් පමණි. ප්‍රධාන විපක්ෂය වන DMK පක්ෂයේ මන්ත්‍රීවරු 59 දෙනා සභාවෙන් පිටව ගිය අතර, AIADMK පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. “විස්ල් ලකුණ ඉතිහාසය වෙනස් කර තිබෙනවා… අපි සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් රකින රජයක් ලෙස කටයුතු කරනවා” යැයි ජයග්‍රහණයෙන් පසු මහ ඇමැති විජේ ප්‍රකාශ කළේය.
AIADMK පක්ෂය තුළ බෙදීමක්
මෙම ඡන්ද විමසීමේදී කැපී පෙනුණු විශේෂත්වය වූයේ එඩප්පාඩි කේ. පලනිසාමිගේ නියෝග නොතකා AIADMK මන්ත්‍රීවරුන් 25 දෙනෙකු විජේ මහතාට සහය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමයි. මෙය තමිල්නාඩුවේ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂයක ඇති වූ දැවැන්ත අභ්‍යන්තර බෙදීමක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
ඡන්ද විමසීමට පෙර TVK පක්ෂයට සහ සහය පළ කරන පක්ෂවලට මන්ත්‍රීවරු 120කගේ සහාය තිබූ නමුත්, අවසන් මොහොතේ මන්ත්‍රීවරු 144ක් දක්වා එම අගය ඉහළ ගොස් ඇත. මෙහිදී මදුරාසි මහාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් TVK මන්ත්‍රී ශ්‍රීනිවාස සේතුපති මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි නොවූ බව ද වාර්තා වේ.














