තමිල්නාඩු ප්‍රාන්තයේ 2026 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ, සුපිරි කොලිවුඩ් නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් දෙමළග වෙට්රි කනගම් (TVK) පක්ෂයේ නියෝජිතයන් අද (06) ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් මහතා හමුවීමට නියමිතව තිබේ.
මැතිවරණ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය වන ආසන 118ක සීමාවට ළඟා වීමට නොහැකි වී ඇති අතර, ටී.වී.කේ. පක්ෂය මේ වන විට තනි විශාලතම පක්ෂය ලෙස ඉදිරියෙන් සිටී. ඒ අනුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති අතර අනෙකුත් පක්ෂවල සහයෝගය ලබා ගැනීමට පක්ෂ නියෝජිතයන් කටයුතු කරමින් සිටී.
මෙහිදී ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ඇතුළු සුළු පක්ෂ කිහිපයක සහයෝගය ලබා ගනිමින් ආණ්ඩුව පිහිටුවීමට සාකච්ඡා සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය සුබපැතුම් එක්කර තිබිණි.















