27 April 2024
#දේශීය

ජලය සොයා ගම්වදින වන අලින් හේතුවෙන් නල්ලමුදාව ගම්වාසීන් පීඩාවට

නල්ලමුදාව ගම්මානයට මේ දින කීපය පුරාම වන අලින් රංචු පිටින් ගම්වදින බව ගම්වාසීන් පවසති.

එසේ ගම්වදින වන අලින් තම නිවාස ඇතුලු දේපළ වලට මෙන්ම ගම්මානයේ පවතින වගාවන්ටද හානී සිදු කරන බවට ගම්වාසීන් මැසිවිලි නගති.

ගම්මානය වටා අලි වැටක් ඉදි කර ඇතත් එම අලිවැටද කඩා ගෙන අලින් ගම්වදින බවට ගම්වාසීන් පවසති.

එසේ ගම්වැදුනු වන අලිය රංචුවක් ගෙවත්තක තිබූ පොල් ගස් 40 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කර ඇති අතර, නල්ලමුදාව විද්‍යාලයට කඩා වැදුණු වන අලින් එම විද්‍යාල‌යේ පවතින මල් පැළ ඇතුළු භෝග රැසක් විනාශ කර ඇතැයි ගම්වාසීන් පෙන්වා දෙති.

බීමට ජලය සොයා පැමිනෙන වන අලින් එම ගම්මානයේ නිවෙස් අසල ඇති පොකුණු වලින් ජලය බීමට ගොස් ඒවාද කැඩී බිදී ගොස් ඇති අයුරු දැක ගත හැකි විය.තවද නිවෙස් අසලම ඇති කොස් ගස් කඩා බිඳ දමා ඇති අයුරුද දැක ගත හැකි විය.රාත්‍රියට පමණක් නොව දිවා කාළයේද මෙම වන අලින් ගම්මානයේ සැරිසරන බව ගම්වාසීන් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ගම්වාසීන් කියා සිටියේ,

ආහාර හා ජලය සොයා ගම්වදින වනඅලින් තම වගාවන් එක රැයින් විනාශ කරන බවත්, ජල මෝටර් හරහා ජලය ලබා ගෙන විශාල වියදමක් කරමින් සිදු කරන වගාවන් මෙසේ වන අලින් විනාශ කර දමනවා.අලි 25-30 ක පමණ රංචුවක් ගම්වදින බවත්, එම අලින් දිවා කාළයේද ගම්මානය තුළ පවතින කැළෑ රොදක රැදී සිටින බවත් ගම්වාසීන් පවසති.

මේ දින වල පවතින වැසි රහිත කාළගුණය හේතුවෙන් රක්ෂිත තුළ කෑමට ආහාර හා ජලය නොමැතිකම නිසාවෙන් මෙලෙස වන අලින් ගම්වදින බවත්, වන අලින්ට රක්ෂිත තුළ ජලය සම්පාදනයට හෝ යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් වන අලින් ගම්වැදීම අඩු වන බවත් ඔවුන් පවසති.කෙසේ නමුත් මේවා ගැන සොයා බැලීමට වනජීවී නිළධාරීන් තම ගම්මානයට නොපැමිණෙන බවත් ඔවුන් පවසති.වන අලින් පලවා හැරීමට අලි වෙඩි හෝ වනජීවියෙන් නොලැබෙන බව ගම්වාසීන් චෝදනා කර සිටිති.

නොබෝ දිනක් යන්නට මත්තෙන් අලි-මිනිස් ගැටුමෙන් වන අලියකුගේ හෝ මිනිසෙකුගේ ජීවිතයක් අහිමි වන බවත්, එසේ වන්නට ඉඩ නොදී මෙම ගැටලුවට කඩිනම් විසදුමක් ලබා දෙන ගම්වාසීන් බළධාරීන් ඉල්ලා සිටිති.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *