හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 70ක මුදලක් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඕරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තම්බුගල මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළා.
මෙම සැකකරුට එරෙහිව අපරාධ නඩු පවරනු ලැබීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව තම්බුගල මහතාව නඩුවෙන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කළා.
අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩිංග්ස් (IWS Holdings) සමාගමේ සභාපති ආතර් සේනානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, හෙලිකොප්ටර් මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 70ක මුදලක් වංචා සහගතව ලබා ගත් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව පවරා තිබුණා.
තම්බුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයාට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ද්වේෂසහගතව බවයි. එමෙන්ම එකල සිටි ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුට මෙම ව්‍යාපාරිකයා සමඟ පෞද්ගලික මතභේද පැවති බවත් ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.
















