NGO නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබා දෙන බව පවසා තරුණ තරුණියන් රවටා විශාල මුදලක් වංචා කළ 28 හැවිරිදි පුද්ගලයෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව සිදු කර තිබෙනවා. මේ වන විට ඔහුට එරෙහිව පැමිණිලි හතක් ලැබී ඇති අතර, ඉන් රුපියල් මිලියන 4කට අධික මුදලක් වංචා කර ඇති බව තහවුරු වී තිබුණත්, තවදුරටත් ලැබෙන පැමිණිලි අනුව වංචා කළ මුළු මුදල රුපියල් මිලියන 10 ඉක්මවිය හැකි බවයි විමර්ශකයින් සැක කරන්නේ.
පොලිස් විශේෂ කාර්යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය එක්ව සිදු කළ මෙහෙයුමකින් පසු පසුගිය මැයි 19 වන දින කුච්චවේලි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. මීට පෙරද විවිධ අවස්ථාවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් මගහැර සැඟවී සිට තිබෙනවා.
මීගමුව, මඩකලපුව සහ අවිස්සාවේල්ල යන අධිකරණවල මෙම සැකකරුට එරෙහිව සමාන චෝදනා යටතේ නඩු කිහිපයක් දැනටමත් විභාග වෙමින් පවතින බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මැයි 20 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මැයි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.














