පසුගිය සිකුරාදා පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) සහ සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) අතර අයිපීඑල් 2026 තරගය අතරතුර පිටියේදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසුව, තරගය අවසානයේ ට්‍රැවිස් හෙඩ් ලබා දුන් සුබපැතුම් අතට අත දීම විරාත් කෝලි විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.
තරගය අතරතුරදී, ලකුණු 256ක ඉලක්කය හඹා යමින් සිටියදී කෝලි සහ හෙඩ් අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා. වාර්තා වන පරිදි, කෝලි විසින් හෙඩ් හට පවසා ඇත්තේ “හොඳයි, ඇවිත් පන්දු කිහිපයක් යොමු කරන්න” යනුවෙනි. අනතුරුව කෝලි දැවී යාමෙන් පසුව හෙඩ් ඔහුට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ, “මම පන්දු යවන්න එන්න කලින්ම ඔයා අවුට් වුණා” යනුවෙනි.
තරගය අවසානයේ සාම්ප්‍රදායික සුබපැතුම් හුවමාරු කර ගන්නා අවස්ථාවේදී, ට්‍රැවිස් හෙඩ් අත දිගු කළද කෝලි ඔහු මඟහැර ඉදිරියට ගොස් තිබෙනවා. නමුත් කෝලි එම අවස්ථාවේදී හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමඟ සුබපැතුම් හුවමාරු කරගෙන තිබෙනවා.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර, ක්‍රීඩාවේ විනය සහ පිටියේ ආක්‍රමණශීලී බව පිළිබඳව විවිධ මතවාද ඇති වුණා. හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ක්‍රීඩාවේ ආක්‍රමණශීලී බව සාමාන්‍ය දෙයක් වුවද තරගය අවසානයේ මෙවැනි සිදුවීම් මඟහරවා ගත හැකිව තිබූ බවයි.
මෙම තරගයෙන් ආර්.සී.බී. (RCB) කණ්ඩායම ලකුණු 55කින් පරාජයට පත් වුවද, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමු සුදුසුකම් ලැබීමේ තරගයට (Qualifier 1) සුදුසුකම් ලබා තිබෙනවා.














