27 April 2024
#දේශීය #පුවත්

ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා දැනුම් දෙනවා – මහින්ද රාජපක්ෂ

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 “සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක” යන තේමාව යටතේ, ගමට නායකයන් ගොඩනඟන වැඩබිම, රටේ ජනතාව දැනුවත් කරන වැඩසටහන තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමතිවරුන්, නීතිඥ සංගමය සහ පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සංවිධායකවරුන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී සිටියහ.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිල්ල යොමුවන බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. එසේම මේ දක්වා අපේක්ෂකයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති අතර ඉදිරියේ දී එම තීරණය ගන්නා බවද ඇතැම් විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව හෙතෙම සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,“ පක්ෂය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙනවා. ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා. අපේ අපේක්ෂකයා තීන්දුකර නැහැ. ඇතැම් විට අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *