1 May 2024
#දේශීය #පුවත්

වැඩ කරන ජනතාවත් එක්ක අපි මෙවර මැයි දිනය පවත්වනවා – රාජ්‍ය ඇමැති ශාන්ත

වැඩකරන ජනතාවට ශක්තියක් වී, ඔවුනට උපහාරය පිදීම වෙනුවෙන් කම්කරු දිනයේදී කොළඹට පැමිණ සහභායෝගය දැක්වීමට ජනතාව සූදානම් බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(18) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, “ දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතත් අපේ සංවිධාන කටයුතු ක්‍රමානුකූලව ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. අපේ පක්ෂයේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒ වගේම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත ඒ වගේම ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ නායකත්වය සහ දේශපාලන මණ්ඩලය ඒ සියල්ල ඒකරාශිවෙලා පක්ෂයේ පැහැදිලි වෙනස්කම් රාශියකුත් එක්ක බිම් මට්ටමේ සිට නැවත සංවිධාන ශක්තිය ශක්තිමත් කරන්න අපි තීරණය කරලා තිබෙනවා. පසුගියදා තංගල්ල නගරයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සම්මේලනය පවත්වන්න අපි තීරණය කළා. ඒ ස්ථානයේම පවත්වපු වෙනත් දේශපාලන පක්ෂවල සහභාගීත්වයට වඩා වැඩි ජන සහභාගීත්වයකින් අපට එය පවත්වන්න හැකියාව ලැබුණා. හුඟක් දෙනෙක් කිව්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉවරයි කියලා. ඒ පිරිසට වැරදිලා තිබෙන්නේ. අපිත් එක්ක ඉන්න ජනතාව වාමාංශික ප්‍රගතිශිලී කඳවුරේ ජනතාව කවදාවත් අපිව අතහැර ගිහින් නැහැ. හැබැයි පසුගිය කාලය තුළ ඔවුන් නිහඬ වුණා. ඔවුන් නිහඬ වුණා මිසක් පක්ෂය අතහැර ගිහින් නැහැ කියන එක ඔප්පුවෙන අවස්ථාවන් ගණනාවක් පසුගිය කාලය තුළදි අපිට සනිටුහන් කරන්න අපිට හැකියාව ලැබුණා. ඊලඟ අවස්ථාව මේ රටේ ජනතාවට, වැඩ කරන ජනතාවත් එක්ක ඒකරාශිවෙලා අපි මෙවර පවත්වන මැයි දිනය අපි වැඩිම ජනතා සහභාගිත්වයකින් පවත්වන මැයි රැළිය බවට පත්කරනවා කොළඹ කැම්බල් පිටියේ. අපේ රටේ සිටින සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම මේ වන විට පුළුල් සංවිධාන ශක්තියක් ගොඩනැගෙමින් තිබෙනවා, විශේෂයෙන්ම වැඩකරන ජනතාවට ශක්තියක් වෙන්න, ඔවුන්ට උපහාරය පලකරන්න කම්කරු දිනය නිමිති කරගෙන කොළඹට ඇවිල්ලා ඒ අවස්ථාවට සහභායෝගය දක්වන්න. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ඉන්න වෘත්තිය සමිති සියල්ල මේ වනකොට රොද බදිමින් ඉන්නවා මේ වන විට මැයි දිනයේදී අපිත් එක්ක එකතුවෙන්න. ඒ කම්කරු දිනය අවසන් වීමත් සමඟ පක්ෂය තීන්දු කරලා තිබෙනවා සෑම මැතිවරණ කොට්ඨාශයකම ග්‍රාමීය මට්ටමින් , බිම් මට්ටමින් සංවිධාන කටයුතු ශක්තිමත් කරලා අපිත් එක්ක හිටපු අපේ පාක්ෂිකයෝ සියලුදෙනා එක්ක නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ම දේශපාලන පක්ෂය හැටියට එළඹෙන ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණදෙන්න පුළුවන් සංවිධාන ශක්තිය අපි ගොඩනගන්නත් බලාපොරොත්තු වෙනවා.”යනුවෙන් මෙහිදි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *